පාකිස්ථාන නාවික හමුදාවට අයත් නෞකාවක් කොළඹ වරායට

පාකිස්ථාන නාවික හමුදාවට අයත් නෞකාවක් කොළඹ වරායට

by Staff writer 13-08-2018 | 4:09 PM

COLOMBO (News 1st) - පාකිස්ථාන නාවික හමුදාවට අයත් ඩෙසිග් PMSS කාශ්මීර් නෞකාව සුහද සංචාරයක් සඳහා අද කොළඹ වරායට සේන්දු විය.

සිව්දින නිල සංචාරයක් සඳහා පැමිණි නෞකාව, දිව‍යිනේ රැඳී සිටින කාල සීමාව තුළදී එහි නැව් මුළුව ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථානයන්හි සංචාරය කිරීමට සහ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන සුහද අත්පන්දු ක්‍රීඩා තරගයකට ද සහභාගීවීමට නියමිත වේ. දිගින් මීටර් 95 ක් සහ පළලින් මීටර් 12.2 කින් යුත් ඩෙසිග් PMSS කාශ්මීර් නෞකාව ටොන් 1550 ක ධාරිතාවයකින් යුක්ත වන අතර එය නිලධාරීන් සහ නාවිකයන් 74 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවකින් ද සමන්විත වේ. සංචාරය නිමා කිරීමෙන් අනතුරුව ලබන 16 වන දා එම නෞකාව දිවයිනෙන් පිටත්වීමට නියමිතව ඇති බව නාවික හමුදාව පැවසුවේ ය. (ඡායා රූප - ශ්‍රී ලංකා නාවික හමුදාව)