මෙරට විශාලතම මහජන අරමුදලට බල පෑ බැඳුම්කර වෙන්දේසිය

මෙරට විශාලතම මහජන අරමුදලට බල පෑ බැඳුම්කර වෙන්දේසිය

by Staff writer 10-08-2018 | 8:29 PM

COLOMBO (News 1st) - ඊයේ දිනයේදී දෙවන බැඳුම්කර වංචාව පිළිබඳ අප කළ අනාවරණයෙන් පසුව විද්වතුන් පෙන්වා දෙන්නේ එම වංචාව හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලට විශාල පාඩුවක් සිදුවී ඇති බවයි.

සේවක අර්ථසාධක අරමුදල යනු මෙරට ඇති විශාලතම මහජන අරමුදලයි. පෞද්ගලික අංශය, රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික ව්‍යාපාර හරහා එහි සේවකයන් වෙනුවෙන් මෙම අරමුදලට අයෝජන යොමු කර තිබේ. මෙහි අරමුණ වන්නේ යම් පුද්ගයකු විශ්‍රාම දිවියට එළඹෙන විට ඉතිරි ජීවිත කාලය පුරා යම්කිසි මුදලක් ඉතිරි කර තැබීමයි. මේ වනවිට සැවොම ඉල්ලා සිටින්නේ මෙවැනි විශාල අරමුදලක් කළමනාකරණය කිරීමට විද්වතුන් අවශ්‍ය බවයි. එයට හේතුව බැඳුම්කර සිද්ධියේදී සිදු වූ අයුරින් මෙම අරමුදල අර්ජුන මහේන්ද්‍රන් හා පර්පෙචුවල් ට්‍රෙසරිස් සමාගම විසින් මෙම මුදල් අවභාවිත කිරීම නතර කළ යුතු බැවිනි. 2016 මාර්තු 29 වැනි දින පැවති දෙවෙනි ආන්දෝලනාත්මක බැඳුම්කර වෙන්දේසියේදී සේවක අර්ථසාධක අරමුදල රුපියල් බිලියනයක් වටිනා බැඳුම්කර වෙන්දේසියෙන් මිලදී ගෙන තිබුණි. නමුත් ඔවුන් එම බැඳුම්කරයේම නිකුත් කළ රුපියල් බිලියන 10 බැදුම්කර ද්වතීක වෙළෙඳපොලේදී මිලදී ගෙන තිබේ. මේ වන විට අනාවරණ වී ඇත්තේ 2016 අප්‍රේල් පළමුවැනි දිනට සේවක අර්ථසාධක අරමුදට රුපියල් බිලියන 9.9 ක අතිරිත්තයක් තිබු බවයි. සේවක අර්ථසාධක අරමුදලට ප්‍රාථමික වෙළෙඳපොළෙන් බැඳුම්කර සෘජුවම මිලදී ගැනීමේ හැකියාව තිබේ. එම නිසා අරමුදලට ද්විතික වෙළෙඳපොළෙන් බැඳුම්කර මිලදී ගැනීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැත. අදාළ වෙන්දේසියේදී සේවක අර්ථසාධක අරමුදල රුපියල් බිලියන 10 ක බැඳුම්කර ප්‍රාථමික වෙළෙඳපොළෙන් මිලදී ගත්තේ නම් රජයට සෑම රුපියල් 100 කටම රුපියල් 1.95ක ලාභයක් හිමිවිය යුතුව තිබුණි. නමුත් රුපියල් බිලියන 10 ක බැඳුම්කර ද්විතික වෙළෙඳපොළෙන් මිලදී ගැනීම තුළ අරමුදලේ ප්‍රතිලාභින්ට සෘජුවම අහිමි වූ මුදල රුපියල් මිලියන 550 කි. පර්පෙචුවල් ට්‍රෙසරිස් සමාගම ෆෑන් ඒෂියා බැංකුව හරහා විශාල ගණනින් ලංසු ඉදිරිපත් කළේ මේ ප්‍රශ්නගත වෙන්දේසියේදී යි. මීට අමතරව කොමිසමේදී අනාවරණ වූ කරුණක් වන්නේ සේවක අර්ථසාධක අරමුදල ඇතුළු වෙනත් ආයතන කිහිපයක පුද්ගලයන්ට විශාල ගෙවීම් සිදු කර ඇති බවයි. ඒ අදාළ මූල්‍යමය වටිනා රහසිගත තොරතුරු ලබා ගැනීමට බව ද අනාවරණ විය. අදාළ වෙන්දේසියේදී රුපියල් බිලියන 40 ක් වටිනා බැඳුම්කර ලබා ගැනීමට බැංකුව මුලින් සැලසුම් කර තිබුනත් වෙන්දේසියේදී ඉදිරිපත් වූ ලංසු මත මහ බැංකුව රුපියල් බිලිවයන 77 ක් එදින ලබාගැනීමට පියවර ගත්තේ ය. මෙම සිදුවීමෙන් ඒ මොහොතේ සිදු වූ අලාභය පමණක් රුපියල් මිලියන 784 ක් බව විගණකාධිපතිවරයා බැඳුම්කර වංචා පිළිබඳ පත් කළ ජනාධිපති කොමිසමේදී සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කළේ ය. අදාළ ආයතනවල බලධාරීන් විසින් මෙරට මහජනතාව මුලාකළ තව ත් එක් අවස්ථාවක් ලෙස මෙය පෙන්වා දිය හැකිය. අදාල බලධාරීන් එවැනි වැදගත් තනතුරුවලට පත් නොකිරීම ජනතාවගේ වගකීමකි. එවැනි පුද්ලයන්ට මහජන මුදල් අවභාවිත කිරීමට කිසිදු අයිතියක් නොමැත.