ඇවන්ට්ගාඩ් ගබඩා භාරකරුට හා මෙහෙයුම් කළමනාකරුට ඇප

ඇවන්ට්ගාඩ් ගබඩා භාරකරුට හා මෙහෙයුම් කළමනාකරුට ඇප

by Staff writer 01-08-2018 | 4:32 PM

COLOMBO (News 1st) - ඇවන්ට්ගාඩ් නෞකාවේ ගබඩා භාරකරු සහ මෙහෙයුම් කළමනාකාරවරයා ඉදිරිපත් කළ ඇප අයැදුම්පත් සලකා බැලු ගාල්ල මහාධිකරණය අද ඔවුන්ට ඇප නියම කර තිබේ.

ඒ, ගාල්ල මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසිනි. එසේ ඇප නියම වූයේ ඇවන්ට්ගාඩ් නෞකාවේ අවි ගබඩාවේ භාරකරු වන දොන් තෝමස් ඇල්බට් විජේතුංග තිලකරත්න සහ එම නෞකාවේ මෙහෙයුම් කළමනාකරු මිල්ලනියගේ සුමුදු නිලුපුල් කොස්තා යන මහත්වරුන්ටයි. එහිදී එක් සැකකරුවෙකුට රුපියල් ලක්ෂ 5 ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ විසිපහ බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ විනිසුරුවරයා ඔවුන්ට විදේශගතවීම ද තහනම් කළේ ය. විනිසුරුවරයා නියෝග කළේ, සැකකරුවන්ට සෑම මසකම අවසන් ඉරු දින කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කරන ලෙසයි. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2015 ඔක්තෝබර් 13 වන දින නීති විරෝධී ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී ඇවන්ට්ගාඩ් නෞකාව අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන්නේ ය. එම නෞකාවේ තිබී ටී 56 ගිනි අවි 549, 84 එස් ගිනි අවි 264 ක් උණ්ඩ 204,674 ක් සහ එල්.එම්.ජි. ගිනි අවි 2 ක් සොයාගනු ලැබිණි.