වලපනේ ප්‍රා. සභාවේ හිටපු සභාපතිට සිර දඬුවමක්

වලපනේ ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති ජගත් කුමාරට සහ එහි රියැදුරෙකුට වසර 12ක සිර දඬුවමක්

by Staff writer 23-07-2018 | 5:12 PM

COLOMBO (News 1st) - වලපනේ ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වලපනේ ආසන සංවිධායක ජගත් කුමාර සමරහේවා සහ එහි රියැදු‌රෙකු ලෙස කටයුතු කළ ජටිලලාල් ප්‍රනාන්දු යන මහත්වරුන්ට නුවරඑළිය මහාධිකරණයෙන් වසර 12 ක සිර දඬුවම් නියම කෙරිණි.

ඒ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් ජිප් රථයක් 2004 වසරේදී අවභාවිත කිරීම සහ බලපත්‍ර නොමැතිව ගිනි අවි ළඟ තබා ගැනීමේ චෝදනාවලට වරදකරුවන් කරමිනි. පොදු දේපොළ සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් වන වරදට වසර 10 බැගින් බරපතළ වැඩසහිත සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු එස්. යූ. බී. කරලියද්ද මහතා රුපියල් ලක්ෂ 105 ක දඩයක් ද නියම කළේ ය. දඩ මුදල ගෙවීමට අපොහොසත් වන්නේ නම් ඔවුන්ට තව ත් වසර 4 ක සිර දඬුවම් නියම වනු ඇති. ගිනි අවි ළඟ තබා ගැනීමේ චෝදනාවට වසර දෙක බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම් සහ රුපියල් 7500 ක දඩයක් නියම කර ඇත. එය නොගෙවන්නේ නම් තව ත් මාස 6 ක අමතර සිර දඬුවමක් පැනවීමට ද විනිසුරුවරයා නියෝග කළේ ය. 2004 වසරේදී ඔවුන්ට එරෙහිව නඩු පවරා තිබුණේ එවකට උඩුපුස්සැල්ලාව පොලීසියේ ස්ථානාධිපතිවරයාව කටයුතු කළ රුවන් ගුණසේකර මහතා ඇතුලු නිලධාරීන් විසිනි.