වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ක්‍රමවේදයක්

වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට නව ක්‍රමවේදයක්

by Staff writer 10-07-2018 | 8:17 AM
COLOMBO (News 1st) - වත්කම් බැරකම් ප්‍රකාශ මින් ඉදිරියට ඉන්ටර්නෙට් ඔස්සේ ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ. එහි අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා සඳහන් කළේ, ඊට අදාළ මූලික සාකච්ඡා ආරම්භ කර ඇති බව ය. වත්කම් බැරකම් ප්‍රකාශ ලබා ගැනීමේදී කාලය නාස්ති වීම සහ විවිධ අක්‍රමිකතා හේතුවෙන් නව තාක්ෂණික ක්‍රමවේද හඳුන්වා දීමට පියවර ගත් බව ද ඔහු ප්‍රකාශ කළේ ය. ඊට අදාළ නව නීති ද සංශෝධනය කිරීමට නියමිත ය. මේ අතර වසර 30කට ආසන්න කාලයක් සංශෝධනය නොවුණු අල්ලස් හා වත්කම් නීතිය සංශෝධනය කිරීමට අදාළ මහජන හා විද්වත් අදහස් ලබා ගැනීම ආරම්භ කළ බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය. ඊට අදාළ පළමු කෙටුම්පත ඉදිරි සති දෙක ඇතුළත නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කරන බව ද ඔහු පැවසුවේ ය.