අනතුරට පත් වෙළෙඳ නෞකාවේ සිටි නාවිකයින් බේරා ගැනේ

අනතුරට පත් වෙළෙඳ නෞකාවේ සිටි නාවිකයින් බේරා ගැනේ

by Staff writer 26-06-2018 | 5:00 PM

COLOMBO (News 1st) - කොළඹ වරායට නාවික සැතපුම් 11.6 ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී අනතුරට පත් 'මුතා පයනියර්' නම් වෙළෙඳ නෞකාවේ සිටි කපිතාන් ඇතුලු ‍නාවිකයින් 11 දෙනෙකු නාවික හමුදාව විසින් අද අලුයම නිරුපද්‍රිතව බේරා ගෙන තිබේ.

ඒ, නාවික හමුදාවේ බටහිර නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රා මගිනි. ඩොමිනිකා ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ මෙම වෙළෙඳ නෞකාව කපිතාන්වරයා හට පාලනය කරගත නොහැකිව වම් පසට ඇලවී ඇති බව නාවික හමුදාවට දැනුම් දී ඇතැයි නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා සඳහන් කළේ ය. ඒ අනුව කඩිනමින් ක්‍රියාත්මක වූ නාවික හමුදාව එම නෞකාව වෙත වේග ප්‍රහාරක යාත්‍රා දෙකක් පිටත් කර යවා තිබේ. අනතුරුව නාවික යාත්‍රා මගින් නෞකාව තුළ සිටි නාවිකයින් ආරක්ෂාකාරී ලෙස මුදවා ගැනීමෙන් පසු කොළඹ වරාය වෙත රැගෙන ආ බව නාවික හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. නිරුපද්‍රිතව බේරා ගනු ලැබූ නාවිකයින් පිරිස අතරට ශ්‍රී ලාංකිකයින් 10 දෙනෙකු සහ ඉන්දුනීසියා ජාතිකයෙකු අයත් ය. නෞකාවේ කපිතාන් ශ්‍රී ලාංකිකයෙකි. නෞකාවේ හිමිකරු ඉන්දීය ජාතිකයෙකු වන අතර නාවිකයින් පිරිස කොළඹ වරාය පොලීසිය වෙත භාරදීමට නාවික හමුදාව පියවර ගෙන තිබේ. නෞකාව අනතුරට ලක් ව ඇත්තේ, කොළඹ වරායේ සිට මාලදිවයින බලා යාත්‍රා කරමින් තිබියදීයි. නෞකාව තාර ප්‍රවාහනය කරමින් තිබූ එකක් බව ද නාවික හමුදාව සඳහන් කළේ ය. ඡායාරූප - ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ඒකකය.