හලාවත පාසලක ප්‍රධාන ශිෂ්‍ය නායකයා ජීවිතක්ෂයට

සිසුන් පිරිසකගේ ප්‍රහාරයකට ලක් වූ හලාවත පාසලක ප්‍රධාන ශිෂ්‍ය නායකයා ජීවිතක්ෂයට

by Staff writer 23-06-2018 | 12:52 PM
COLOMBO (News 1st) - සිසුන් පිරිසකගේ ප්‍රහාරයකට ලක්ව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබූ හලාවත ප්‍රදේශයේ පාසලක ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස කටයුතු කළ සිසුවා අද අලුයම මිය ගොස් තිබේ. එලෙස මිය ගොස් ඇත්තේ, හලාවත ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ෆයිෆූල් නමැති 16 හැවිරිදි සිසුවෙකි. පසුගිය 10 වන දා දේව මෙහෙයකට සහභාගී වී යළි එමින් සිටියදී සිසුවා එලෙස පහර කෑමට ලක්ව තිබිණි. ඉන් අනතුරුව ඔහු හලාවත රෝහලට ඇතුළත් කෙරුණු අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට මාරු කෙරිණි. සිද්ධිය සම්බන්ධයෙන් පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පරිවාස භාරයට පත් කර තිබේ. තවත් සැකකරුවන් දෙදෙනෙකු පසුගිය 17 වන දා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ, පහර දීමකට අනුබල දීම සම්බන්ධයෙනි. ඔවුන් එදිනම ඇප මත මුදා හැරිය ද නැවත ඔවුන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක ය. බහින් බස්වීමක් දුරදිග යාමෙන් පහර දීම සිදුව ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක ය.