ලසන්ත ඝාතනයේ නඩු විභාගය...

ලසන්ත ඝාතනය: ජයන්ත වික්‍රමරත්නගෙන් ප්‍රශ්න කිරීමට සැරසේ

by Staff writer 19-06-2018 | 8:51 PM

COLOMBO (News 1st) - ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණයට අදාලව හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වේ.

එම දෙපාර්තමේන්තුව අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ, ලබන 22 වන දා එම ප්‍රකාශය ලබාගන්නා බවයි. ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද යළි කැඳවනු ලැබිණි. සාක්ෂි වසන් කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත ව සිටින කොළඹ හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර සහ ගල්කිස්ස පොලීසියේ හිටපු පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල යන මහත්වරුන් එහිදී අධිකරණයට ඉදිරිපත් කළ අතර ලබන 3 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඔවුන් වෙනුවෙන් ඇප ලබාදෙන්නැයි නීතිඥවරුන් කළ ඉල්ලීම සලකා බැලීම ජුලි 3 වන දා දක්වා කල් තැබිණ. පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණට දැනුම් දුන්නේ, මෙම ඝාතනය සම්බන්ධව රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්ෂ කීර්ති ගජනායක හා හිටපු බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරල් කපිල හෙන්ද්‍රවිතාරණ යන මහත්වරුන්ගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බවයි.