ප්‍රසන්නගේ හඬපටය අධිකරණයට

ප්‍රසන්න රණතුංග ව්‍යාපාරිකයෙකුට බැන වැදුණු හඬපටය අධිකරණයට

by Staff writer 11-06-2018 | 5:16 PM

COLOMBO (News 1st) - බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ව්‍යාපාරිකයෙකුට දුරකතනය ඔස්සේ බැන තර්ජනය කළ බවට වූ හඬපටය අද විවෘත අධිකරණය හමුවේ ප්‍රතිවාදනය කෙරුණි.

ව්‍යාපාරිකයෙකු බිය ගන්වා, බලහත්කාරයෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ලබා ගැනීම ඇතුලු අධිචෝදනා 15 ක් යටතේ, බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග සහ බිරිඳවන මොරින් ස්ටෙලා රණතුංග ඇතුලු තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පැවරූ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය අද කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය ඉදිරියේදී කැඳවා ඇත. පැමිණිලිකාර ව්‍යාපාරික සුරංජිත් ක්‍රිස්ටියන් ගිහාඩ් මෙන්ඩිස් නැමැත්තා, අද දින අධිකරණය හමුවේ සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කළේ, 2015 මැයි 29 වන දා දහවල් පළමු විත්තිකාර ප්‍රසන්න රණතුංග තමාට දුරකතනයෙන් අමතා තර්ජනය කර එකී මුදල් ඉල්ලා සිටි බවයි. තමා සහ ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා අතර ඇති වූ එම දුරකතන සංවාදය තමා පටිගත කළ බවත්, සාක්ෂිකරු එහිදී අධිකරණයට පෙන්වා දුන් අතර එහිදී හඬපටය විවෘත අධිකරණය හමුවේදී ප්‍රතිවාදනය කෙරුණි. නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 28 වැනි දින දක්වා කල්තැබූ මහාධිකරණ විනිසුරුවරිය මේ වන විට අධිකරණය භාරයේ තිබෙන දෙවන විත්තිකාර මොරින් ස්ටෙලා රණතුංග මහත්මියගේ විදේශ ගමන් බලපත්‍රය වීසා ලබා ගැනීම සඳහා ඇය වෙත තාවකාලිකව මුදා හැරීමට නියෝග කර සිටියා ය.