COLOMBO (News 1st) - දකුණු පළාතේ පැතිරී යන වෛරස් උණ රෝගය හඳුනාගෙන තිබේ. පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා සඳහන් කළේ, වෛරස් ඛාණ්ඩ 4 ක් මෙම උණ රෝගයට හේතු වී ඇති බව ය.
දකුණු පළාත තුළ පැතිර යමින් ඇති මෙම වෛරස් රෝගය හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහල වෙත රෝගීන් විශාල ප්‍රමාණයක් ඇතුළත් කර තිබේ.
වැලිගම, අලුත් වීදිය ප්‍රදේශයේ පදිංචි මාස 11 වයසැති ගැහැණු දරුවෙකු ඊයේ මෙම රෝගී තත්ත්වය හේතුවෙන් මිය ගියේය.
වෛරස් උණ රෝගය හේතුවෙන් ගතවූ මාස එකහමාරක කාලය තුළ මරණ 15 වාර්තා වී ඇති අතර 150 කට අධික පිරිසක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසයි.
අද කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයේදී මේ සම්බන්ධයෙන් සියලු පාර්ශ්ව කැඳවා සාකච්ඡාවක් පැවැත්විය.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසුරිය මහතා
මේ වනවිට රෝගී තත්ත්වය වසංගත තත්ත්වයක් බවට පත් වෙලා නෑ. සාමාන්‍යයෙන් සෑම වර්ෂයකම මැයි ජුනි මාස වලදී මෙවැනි රෝග තත්ත්වයන් පැතිරීමේ ඉඩක් තියනවා. මං විශ්වාස කරනවා දැන් අපි මේක නවත්වා ගැනීමට ගන්න පියවරත් එක්ක, ඉදිරි සති දෙක තුළ මේක පාලනය කරගන්න හැකියාව ලැබෙයි කියලා