ශ්‍රී ලංකාව දූෂණයට එරෙහිව ගෙන ඇති පියවර කුමක් ද?

ලෝක දේශපාලනය තුළ දූෂිතයින්ට නිසි දඬුවම් ලැබෙද්දී ශ්‍රී ලංකාව දූෂණයට එරෙහිව ගෙන ඇති පියවර කුමක් ද?

by Staff writer 12-05-2018 | 8:21 PM
COLOMBO (News 1st) - දූෂණ චංචාවලට සම්බන්ධ රාජ්‍ය නායකයින්ට සහ පාලකයින්ට නීතිය ක්‍රියාත්මක වීම මේ වන විට ලෝකයේ බොහෝ රටවල දැකිය හැකි කරුණකි. දේශපාලන නායකයින්ට දූෂණ චෝදනා එල්ල වන පසුබිමක දකුණු අප්‍රිකානු ජනාධිපති ජෙකොබ් සුමාට ද එවැනි ම තත්ත්වයකට මුහුණ පෑමට සිදුව තිබේ. දූෂණ චෝදනාවලට අදාළව දකුණු අප්‍රිකානු මහාධිකරණය හමුවේ ජේකොබ් සුමාට එරෙහිව ගොනු කර ඇති අපරාධ නඩු සංඛ්‍යාව 783කි. රාජ්‍ය සම්පත්, මහජන මුදල් අවභාවිතය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලූලාද සිල්වා මේ වන විටත් පසුවන්නේ සිරගතව ය. හිටපු ජනාධිපතිනී ඩෙල්මා රූසෝෆ්ට ද මූල්‍ය අවභාවිතය සම්බන්ධයෙන් බරපතල චෝදනා එල්ල වී තිබේ. පේරු රාජ්‍යයේ ජනාධිපති පෙඩ්රෝ පැබ්ලෝ කුසින්ස්කී සිය ධූරයෙන් ඉල්ලා අස්වූයේ එරට ඉදිකිරීම් සමාගමකින් නීති විරෝධී ලෙස මුදල් ලබා ගත් බවට චෝදනා එල්ල වීමත් සමග ය. ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක් හා ඔහුගේ පුතුන් දෙදෙනාට වසර 3ක සිර දඬුවම් නියම කෙරුණේ, රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ වරදට ය. මේ ජාත්‍යන්තර දේශපාලනය තුළ වාර්තා වුණු පාලකයින්ගේ වංචා දූෂණ සම්බන්ධ සිද්ධීන්වලින් කිහිපයක් පමණි. නමුත්, මෙරට පසුගිය සමයේ මෙන් ම වත්මන් පාලනය යටතේ ද දූෂණ චෝදනා එල්ල වූ දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් ගෙන ඇති පියවර කුමක් ද?