ලසන්ත ඝාතනය: ප්‍රසන්න නානායක්කාර රිමාන්ඩ්

ලසන්ත ඝාතනයේ තොරතුරු වසන් කිරීමේ චෝදනා ලැබු ප්‍රසන්න නානායක්කාර රිමාන්ඩ්

by Hashini De Mel 01-05-2018 | 6:13 PM

COLOMBO (News 1st) - මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියේ තොරතුරු වසන් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මහතා ලබන 14 වැන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ඒ අදාළ නඩුව අද ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිල් මහතා හමුවේ කැඳ වූ අවස්ථාවේදීය. විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මහතාට ඇප ලබාදෙන්නැයි ඉල්ලා ඔහුගේ නීතිඥවරයා පසුගිය 23 වෙන දා අධිකරණය හමුවේ කරුණු දැක්විය. ඒ පිළිබඳව අද තීන්දුවක් ලබාදීමට නියමිතව තිබියදී පසුගිය 27 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් ඇප ඉල්ලිමට විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥයෙකු ඉදිරිපත් කිරීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේ ය. ඒ අනුව රජයේ ජ්‍යේෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර මහතා හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඇප ඉල්ලිමට එරෙහිව අද අධිකරණයේදී කරුණූ ඉදිරිපත් කළේ ය. රජයේ නීතිඥවරයාගේ කරණු දැක්වීමට ප්‍රතිචාර දැක්වීම සඳහා ප්‍රසන්න නානායක්කාර මහතා වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතිඥ අනුර මැදගම මහතා කල් ඉල්ලා සිට තිබේ. ඒ අනුව දෙපාර්ශවයේම එකඟතාව මත නඩු විභාගය ලබන 14 වැනි දිනට කල් තැබුණු අතර අද අධිකරණයට ඉදිරිපත් කළ පොලිස් පරික්ෂක තිස්ස සුගතපාල මහතාද ලබන 14 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කළා.