බඹර කිරි ඇල්ල අනාගත පරපුර වෙනුවෙන් රැක ගනිමු...!!

නකල්ස් කඳු පන්තියෙන් උපන් බඹර කිරි ඇල්ලවත් අනාගත පරපුර වෙනුවෙන් රැක ගනිමු...!!

by Chathuranga Rajapaksha 10-04-2018 | 10:36 PM
COLOMBO (Newsfirst) - ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ ආකර්ෂණය දිනා ගන්නේ රට තුළ පවතින විවිධාකාර මනස්කාන්ත පරිසර පද්ධතිය හේතුවෙනි. එවන් සුන්දර දිය ඇල්ලක් වන බඹර කිරි ඇල්ල සොයා නිව්ස්ෆස්ට් ඩිජිටල් අප මාතලේ ප්‍රදේශයේ සංචාරයක නිරත වූහ. මාතලේ, රත්තොට සිට රිවර්ස්ටන් දක්වා වූ ගමන් ගන්නා මාර්ග අතරතුර බඹර කිරි ඇල්ල පිහිටා තිබේ. බඹර කිරි ඇල්ලේ සුන්දරත්වය නැරඹීමට වැල් පාලමක් හරහා ගමන් කළ යුතු වේ. එම වැල පාලමේ ගමන් කිරීම විටෙක එය බයංකර මෙන්ම සුන්දර ගමන් ලෙස ද හැඳින්විය හැකිය. බඹර කිරි ඇල්ල සුන්දර වුවත් එහි ජල පහරේ වේගය කොතරම්දැයි වැල් පාලමේ උඩ සිටින්නෙකුට හොඳින් බලාගත හැකි වෙයි. මෙම දිය ඇල්ලේ උල්පත් ආරම්භ වන්නේ නකල්ස් කඳු පන්තියෙනි. බඹර කිරි ඇල්ල ලෙස නම පටබැඳී ඇත්තේ, ඇල්ල අසල පර්වතයක බඹර බැඳ තිබු නිසා බව ජනප්‍රවාදයේ සඳහන් වේ. මෙහි දිය ඇලි 2ක් තිබේ. එක් ඇල්ලකින් වැටෙන ජලය අනෙක් ඇල්ල ඔස්සේ පහල පිහිටා ඇති විශාල තටාකයට වැටී ගලා යයි. ආරක්ෂාව සහ පවිත්‍රතාව පිළිබඳ අවධානය යොමු කරමින් මෙහි එන නරඹන්නන්⁣ට උපදෙස් මාලාවක් දී තිබේ. බඹර කිරි ඇල්ල වෙත පහසුවෙන් ළඟා වීමට තිබෙන වැල් පාලමේ අනතුරක සේයාවක් ද අපට දක්නට ලැබුණි. ඒ, වැල් පාලමේ අතුරා ඇති ලෑලි තැනින් තැන කැඩී ගොස් තිබීම හේතුවෙනි. එබැවින් මෙවැනි අඩුපාඩු පිලිසකර කිරීම කඩිනම් අවශ්‍යතාවකි. මධ්‍යම කඳුකරයේ සුන්දරත්වය ලොවට විදහාපාන බඹර කිරි ඇල්ල අසුන්දර කර ඇති දසුන් ද නැතුවා ද නොවේ. ඒ අනුව ඇල්ල අවට පරිසරයට අපද්‍රව්‍ය මුදා හැර ඇති අයුරු අපගේ කණ්ඩායමට එහිදී නිරීක්ෂණය විය. සුන්දර පරිසර පද්ධතියක පිහිටා ඇති මෙම බඹර කිරි ඇල්ලේ සුන්දරත්වය විඳ ගන්න ගමන් මෙම පරිසර පද්ධතිය අපවිත්‍ර නොකර අපේ අනාගත පරපුර වෙනුවෙන් එය ඉතිරි කරන්නැයි අපි ඔබෙන් ඉල්ලා සිටින්නෙමු. https://www.facebook.com/NewsfirstSL/videos/1907421139318135/