ශ්‍රීලංකන් ගුවන් සේවයේ අර්බුදය

ගුවන් ගමනාන්ත 4ක් වසා දමා ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යානා 3ක් තුර්කි ගුවන් සමාගමට බදු දීමට ගෙන ඇති තීරණයට වෘත්තීය සමිතිවල විරෝධය

by Hashini De Mel 22-03-2018 | 10:46 PM

COLOMBO (News 1st) - ගුවන් ගමනාන්ත 4 ක් වසා දමා එම ගුවන්සේවයට අයත් යානා තුනක් තුර්කි ගුවන් සමාගමට බදුදීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරන බව ගුවන් සේවා වෘත්තිය සමිති පවසා තිබේ.

මේ අතර අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින් සිව්දෙනෙකු ලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයාට යොමු කළ ලිපියක දැක්වෙන්නේ, මෙම තීරණ සමාගමේ සේවා ව්‍යවස්ථාවට ද පටහැනි බවයි. ලේකම්වරයා පෙන්වා දෙන්නේ, ශ්‍රීලංන්කන් ගුවන් සමාගමේ ස්ථාවර වියදම් අමෙරිකානු ඩොලර් මිලියන 21 ක් බැවින් තුර්කි ගුවන් සමාගම සමග හැකි ඉක්මනින් සාකච්ඡා කර එකඟතාවයකට පැමිණිය යුතු බව ආර්ථික කළමනාකරණ කැබිනට් අනුකමිටුව තීරණය කර ඇතැයි පසුගිය පෙබරවාරි 22 වන අගමැති ලේකම්වරයා සමාගමේ සභාපතිවරයාට දන්වා තිබුණි. එහෙත් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සිව්දෙනෙකු සභාපතිවරයාට ලිපියක් යොමුකරමින් මෙම තීරණයට දැඩි ලෙස විරෝධය පළ කර තිබේ. ඔවුන් යැවූ ලිපියේ දැක්වූයේ, පසුගිය මාර්තු මස 6 වන දා තිබු අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමකදී ප්‍රධාන විධායක නිලධාරීවරයා තුර්කි ගුවන් සමාගම හමුවීම පිළිබඳව ප්‍රශ්න කළ බවයි. බාහිර ආරංචිමාර්ගවලින් ශ්‍රීලංකන් ගුවන් යානා 3 ක් තුර්කි ගුවන් සමාගමට බදුදීමට තීරණය කර ඇති බව දැන ගන්න ලැබුනු බව ද එම අධ්‍යක්ෂවරුන් පෙන්වා දේ. මාර්තු 6 පැවති රැස්වීමේදී සභාපතිවරයා, පෙරවාරි 22 වන දා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවෙන් ලැබුනු ලිපියක් සභාගත කළ බව ත් එහි සඳහන් ඇති ඩොලර් මිලියන 21 ක ස්ථාවර වියදම පිළිබඳ තමන් දැනුවත්වී නොමැති බවත් අධ්‍යක්ෂරුන් සිව්දෙනාගේ ලිපියේ සඳහන් වේ. මේ අනුව ශ්‍රීලංකන් ගුවන් සේවය මේ පිළිබඳ දැනුවත්වී නොමැති හෙයින් තුර්කි ගුවන් සමාගමට යානා බදුදීම ගැන පිළිබඳ තමන්ගේ කිසිදු සම්බන්ධවයක් නොමැති බවත් එය ගුවන් සමාගමේ සේවා ව්‍යවස්ථාවට පටහැනි බවත් අධ්‍යක්ෂවරුන් සිය ලිපියෙන් පෙන්වා දේ. ශ්‍රීලංකන් ගුවන් සේවය 2008 වසරේදී ලැබූ ලාභය රුපියල් බිලියන 4.8 ක් වන අතර එය 2009 වසරේදී රුපියල් බිලියන 9.9 ක අලාභයක් බවට පත්ව ඇති අතර එතැන් සිට එම ගුවන් සේවය දිගින් දිගටම ලබා ඇත්තේ අලාභයක් පමණි. 2015 වර්ෂයේදී රුපියල් බිලියන 16.3 ක් වූ අලාභය 2016 වසරේ රුපියල් බිලියන 12 ක් වූ අතර පසුගිය වසරේ රුපියල් බිලියන 28.5 ක් දක්වා එම අලාභය ඉහළ ගොස් ඇත. සමාගමේ අභ්‍යන්තර තොරතුරු අනුව මෙම මූල්‍ය වර්ෂය අවසානයේ අප්‍රේල් මාසයේ සිට දෛනික කටයුතු පවත්වාගෙන යාම සඳහා යළි ත් මහාභාණ්ඩාගාරය මගින් මුදල් සම්පාදනය කළ යුතු වේ.