මිරිජ්ජවිලදී බස් රථයක් තුළ වෙඩි තැබීමක්

මිරිජ්ජවිලදී වෙඩික්කරුවෙක් බස් රථයකට කඩා වැදී මගියෙක් මරා දමයි

by Sagarika Chathumali 26-02-2018 | 1:37 PM

COLOMBO (Newsfirst) : හම්බන්තොට, මිරිජ්ජවිලදී පෞද්ගලික බස් රථයකට අද දහවල් එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ , තංගල්ල මහාධිකරණයේ විභාග වන නඩුවකට පෙනී සිට නැවත යමින් සිටි පුද්ගලයෙකු මෙලෙස වෙඩි තබා ඝාතනය කර ඇති බවයි. තුවක්කුකරු බස් රථය පිටුපසින් පැමිණ බස් රථයට ඇතුළුවවී මෙම වෙඩි තාබීම සිදුකර ඇත. වෙඩි තැබීමන් පසු සැකකරු මෝටර් රථයක නැග පළා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. වෙඩි තැබීම සිදුව ඇත්තේ මාතර සිට අම්පාර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයකදීයි. ඝාතනයට ලක්වූ පුද්ගලයා තංගල්ල රන්න ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු තාවකාලිකව සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මිය ගිය පුද්ගලයාගේ මළ සිරුර හම්බන්තොට රෝහලේ තැන්පත් කර තිබේ.