වියලි කාලගුණයෙන් ලක්ෂ 3කට පීඩා

වියලි කාලගුණයෙන් ලක්ෂ 3කට පීඩා: 17,000කට අධික ගොවිබිම් ප්‍රමාණයකට හානි

by Chathuranga Rajapaksha 24-02-2018 | 7:07 AM
COLOMBO (Newsfirst) - වියලි කාලගුණය හේතුවෙන් 17,000කට අධික ගොවිබිම් ප්‍රමාණයක් විනාශ වී ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. එහි සභාපති සිඩ්නි ගජනායක මහතා පැවසුවේ ගොවීන්ගෙන් ඒ පිළිබඳව තමන්ට පැමිණිලි ලැබී ඇති බව ය. වගා හානි වූ ගොවියෙකු සඳහා රුපියල් දස දහසක වන්දි මුදලක් ලබා දෙන බව ද ඔහු පවසයි. පවතින වියලි කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 5 ක ලක්ෂ 3කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය. වියලි කාලගුණයෙන් වැඩි බලපෑමක් එල්ල වී තිබෙන්නේ අනුරාධපුරය, පොලොන්නරුව, පුත්තලම, මන්නාරම හා කුරුණෑගල යන දිස්ත්‍රික්කවලටයි. මේ අතර විදුලි බලාගාර ආශ්‍රිත ජල මට්ටම පහළ ගිය ද විදුලි කප්පාදුවක් සිදු නොවන බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය. පේරාදේණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය රේඛානි ආන්ති මහත්මිය පැවසුවේ රට තුළ ඇතිවන ක්ෂුද්‍ර දේශගුණික වෙනස්වීම් ජනතාවට වෙනස් කළ නොහැකි බව ය. මේ අතර අද සිට වියලි කාලගුණයේ වෙනසක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර, ඌව, පොලොන්නරුව සහ හම්බන්තොට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 2න් පමණ පසු වැසි ඇතිවිය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ දර්ශන චමිල් ප්‍රේමතිලක මහතා පවසයි. https://www.facebook.com/NewsfirstSL/videos/1852915434768706/