EAPසමූහ ව්‍යාපාරය ඩො.මිලියන 60කට විකිණීමේ සූදානමක්

EAP සමූහ ව්‍යාපාරය අමෙරිකානු ඩොලර් මිලියන 60කට විකිණීමේ සූදානමක්

by Hashini De Mel 20-02-2018 | 9:22 PM

COLOMBO (Newsfirst) - EAP සමූහ ව්‍යාපාරය බ්‍රිතාන්‍ය සමාගමකට අමෙරිකානු ඩොලර් මිලියන 60 කට විකිණීමේ සූදානමක් ඇතැයි අද වාර්තා විය.

නිව්ස්ෆස්ට් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහබැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගෙන් විමසූවිට ඔහු කියා සිටියේ, EAP ව්‍යාපාරයේ හිමිකරුවන් සාකච්ඡා කරමින් සිටින අතර අවසන් තීරණයක් ගැනීමට මහබැංකුවේ අවසරය අවශ්‍ය බවයි. සිංගප්පූරුවේ සමාගමක් වන ස්ට්‍රේට්ස් ග්‍රිඩ් ලිමිටඩ් සහ අතරමැදියෙකු ලෙස කටයුතු කරන සුදීර් ජයරාම් නමැති මලයාසියානු ව්‍යාපාරිකයා මීට සම්බන්ධ අනෙක් පාර්ශවය බව ඩේලි එෆ්ටී පුවත්පත අද වාර්තා කළේ ය. ඊට අමතරව මෙහි මිලදී ගන්නා පාර්ශවය ලෙස හඳුන්වා ඇත්තේ බ්‍රිත්ලයිකා සමූහ ව්‍යාපාරයයි. එය ශ්‍රී ලංකාවේ උපන් ව්‍යාපාරික අලිරාජා සුබාස්කරන් මහතාට අයත් ව්‍යාපාරයකි. කෙසේවෙතත් මේ පුද්ගලයින් පිළිබඳව නිව්ස්ෆස්ට් ශ්‍රී ලංකා මහබැංකු අධිපතිවරයාගේ ත් රජයේ ත් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ අවධානයට ලක් කරනු ඇත. මෙහි අතරමැදියෙකු බව කියන සුදීර් ජයරාම් නමැත්තා මීට පෙර කටුනායක ගුවන් තොටුපොළේදී නීතිවිරෝධී ලෙස විදේශීය මුදල් තොගයක් රටින් පිටකිරීමට උත්සාහ කර රේගු භාරයට ද පත් වූ අයෙකි. ඔහු හෝටන් ස්කෙවයාර් නමැති ඩොලර් මිලියන 250 ක් වටිනා ප්‍රශ්නගත ව්‍යාපෘතියේ ද හවුල්කරුවෙකු වනු ඇත. එම ව්‍යාපෘතියට සම්බන්ධ ආර්. එම්. මනිවානන් නමැත්තා සුප්‍රීම් සැට් ව්‍යාපාරය සමග ද සම්බන්ධ අතර 2000 වසරේදී ඉරාකයේ සිදු වූ බව කියන අාහාර සඳහා තෙල් වැඩසටහනේ වංචාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විමර්ශනයකට ද ලක් වූ අයෙකි. අලිරාජා සුබාස්කරන් මහතාගේ ලයිකා මොබයිල් සමාගම මේ වනවිට ප්‍රංශයේ මුදල් විශුද්ධිකරණයෙන් අපරාධ කිරීම යටතේ විමර්ශනයකට ලක් ව ඇති අතර බදු වංචා සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ විමර්ශනයට ලක් ව තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/1849470405113209/