රට හරහා දිවීමේ තරගයේ ජය චන්ද්‍රදාසන්ට

රට හරහා දිවීමේ තරගයේ ජය චන්ද්‍රදාසන්ට

by Sagarika Chathumali 19-02-2018 | 2:38 PM

මධ්‍යම පළාතේ S. චන්ද්‍රදාසන් 44 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව පැවති රට හරහා දිවීමේ තරගයේ පිරිමි අංශයේ ජය වාර්තා කළේ ය.

එහි කාන්තා අංශයේ ජය වාර්තා කළේ, නැගෙනහිර පළාතේ H.M.N.M. නන්දසේනයි. 44 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ රට හරහා දිවීමේ තරග නුවරඑළියේදී ඊයේ පැවැත්විණ. මෙම තරගය පැවැත්වුණේ ක්‍රීඩා අමාත්‍යංශ අතිරේක ලේකම් කේ.පී. සිරිබද්ධන , ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අතිරේක ක්‍රීඩා අධ්‍යකෂ ජනරාල් සනත් බණ්ඩාර හා නුවරඑළිය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාර් මහින්ද දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි. ආසියානු ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියට එක් වූ නිලානි රත්නායක සහ සමන්ත පුෂ්පකුමාර මෙම තරගාවලිය සඳහා නියමිත කාලය තුළ අයදුම් පත් ඉදිරිපත් කිරීමට අසමත්වීම හේතුවෙන් ඔවුන් දෙදෙනා ස්වාධීන ක්‍රීඩකයෝ ලෙස තරග කළහ. අදාළ ඉසව් දෙකෙන් ඔවුන් දෙදෙනා වේගවත් ම කාලය සටහන් කළ නමුත් ස්වාධීන ක්‍රීඩකයින් ලෙස තරග කළ නිසා ජයග්‍රහණය හිමි වූයේ දෙවැනියට තරගය අවසන් කළ ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවටයි. ඒ අනුව තරගයේ පිරිමි අංශයේ ජය වාර්තා කළ මධ්‍යම පළාතේ එස් චන්ද්‍රදාසන් විනාඩි 33 යි 25 කින් තරගය නිම කළේ ය. එහි දෙවන ස්ථානය විනාඩි 33යි තත්පර 31 කින් තරගය අවසන් මධ්‍යම පළාතේම ලයනල් සමරජීවට හිමි විය. එහි තුන්වන ස්ථානය හිමි වූයේ විනාඩි 33.33 කින් තරගය නිමා කළ ඌව පළාතේ T.M. එරන්ද තෙන්නකෝන්ටයි. විනාඩි 39යි තත්පර 49 කින් තරගය නිමාකළ නැගෙනහිර පළතේ H.M.N. නන්දසේන තරගයේ කාන්තා කේවල අංශයේ ජයග්‍රහණය වාර්තා කළේ ය. ඌව පළාතේ ශාමලී අනූෂා විනාඩි 40 යි තත්පර 11 කින් තරගය නිමා කරමින් කාන්තා අංශයේ දෙවන ස්ථානය හිමිකර ගත් අතර විනාඩි 40 යි තත්පර 19 කින් තරගය නිමා කළ මධ්‍යම පළාතේ බී. ජී. එල්. අනුරාදීට හිමි වූයේ එහි තුන්වන ස්ථානයයි. රට හරහා දිවීමේ තරගයේ පිරිමි කණ්ඩායම් අංශයේ ශූරතාව මධ්‍යම පළාතට හිමිවූ අතර එහි අනුශූරතාව හිමිවුනේ ඌව පළාතටයි. මධ්‍යම පළාතම එහි කාන්තා කණ්ඩායම් අංශයේ ශූරතාවය දිනා ගත් අතර බස්නාහිර පළාතට එහි අනුශූරතාව හිමි විය.